Sunday, December 21, 2014

ඔබ වෘශ්චික නම් මෙය කියවන්න

by Api Nodanna Live  |  in Lagna at  1:19 AM

ලග්න දොළහෙන් 08 වැනි රාශිය වූ වෘශ්චික රාශිය ගැන ඔබට කතා කරන්න සිතුවේ විශේෂ හේතුවක්‌ ඇති නිසයි. ඒ 2017 වර්ෂය දක්‌වා සෙනසුරු ඔබේ ලග්නය වූ මෙම වෘශ්චික රාශිය තුළ ගමන් කරන කාලයක්‌ දැන් උදාවී පවතින බැවිනි.

ඔබේ ලග්නය වූ වෘශ්චිකය පිළිබඳ පළමුවෙන්ම ජ්‍යෝතිර් විද්‍යාත්මක තත්ත්වය ගැන ටිකක්‌ පැවසීමද ඔබගේ දැනුම සහ අවබෝධය පිණිස වැදගත්යෑයි සිතමි. මෙයට තාරුකා එකොළහක්‌ සම්බන්ධව පවතී. මේ තාරුකා සමූහය පිහිටා ඇත්තේ ගෝනුස්‌සෙකුගේ හැඩයටය. එබැවින් එහි ලකුණ වන්නේ ගෝනුස්‌සාය. මෙය කිලෝ මීටර් දහස්‌ ගණනක විශාලත්වයක්‌ සහිතය.

ගෝලාකාරව හෙවත් වෘත්තාකාරව විශ්වය මහා පෘථිවියට සාපේක්‍ෂව නැකැත් 27 කට බෙදා තිබේ. මෙයින් "විසා" නැකතේ 4 වැනි පාදයෙන් ඇරඹි "දෙට" නැකත දක්‌වා මෙම රාශිය පුළුල්ව පවතී. සූර්යා වෘෂභ රාශියේ ගමන් කරන කාලයට, එනම් මැයි 15 දින සිට ජුනි 15 අතර කාලය තුළ සූර්යාගේ ආලෝකය වෘශ්චික රාශිය මත මැනවින් පතිතවන කාලය වෙයි. ඒ සූර්යාත් වෘශ්චිකයත් මුහුණට මුහුණ සිටින බැවිනි.

වෘශ්චික රාශිය තෙත් ගතියෙන් යුතුවන අතර එම කාලයට රවි හෙවත් සූර්යාගේ කිරණ හේතු කොටගෙන මෙම රාශියෙහි විපර්යාස ඇතිවෙයි. විශේෂයෙන් මෙම වෘශ්චික රාශියෙහි හිමිකාරත්වය ඇත්තේ අඟහරුට හෙවත් කුජටය. ඔහුගේ ශක්‌තියද මේ විපර්යාසයන්ට වඩාත් නතුවෙයි. ඒ අනුව මේ 2015 වසරේ කුජ ග්‍රහයා රවිට එක්‌වී මැයි සිට ජුනි 16 දක්‌වා වෘෂභ රාශියේ ගමන්කරයි. මෙය වෘශ්චික රාශිය අවට වායු ගෝලයේ තත්ත්වය වෙනස්‌ කරන ශක්‌තියක්‌ වෙයි.

ඒ නිසා වෘශ්චිකය අවට වායුගෝලය වූ විශ්වයේ බටහිර දිශාවේ කැළඹීම් ආශ්‍රිතව වැසි සුළං ආදියේ වර්ධනයක්‌ සේම වෘශ්චික ලග්න හිමි අයටද විවිධ අවුල් වියවුල්වලින් මානසික පීඩන ඇතිවන කාලයක්‌ද වෙයි. විශේෂයෙන් ශනි වෘශ්චික රාශියේ සිටීම නිසා වැස්‌ස - සුළඟ ආදියේ වේගවත් ගැටීම් සේම ලග්නහිමියන්ටද වේගවත් ගැටීම් මනසට එක්‌වෙයි.

විශේෂයෙන් සෙනසුරු වෘශ්චික රාශිගතවීම නිසා එහි පවත්නා ගුණාංග කෙරෙහි යම් බලපෑමක්‌ ඇතිකරයි. සෙනසුරු වානාහි ජීවිතයේ දුක්‌ත භාවය ප්‍රායෝගිකවම පෙන්වන බලය වෙයි. බුදුදහමට සාපේක්‍ෂ කර බලනවිට මිනිසාගේ අවිද්‍යාව තුළ ගැටුම් ඇතිකරන ග්‍රහයාය. වෘශ්චිකයේ ඇති ගතිය වන්නේ නිර්භීත - ක්‍රියාශීලි ගතියයි. ඉදිරියට ගොස්‌ අභියෝගවලට පවා මුහුණ දීමේ හැකියාවයි.

සෙනසුරු වෘශ්චික රාශිගතවීමෙන් මේ ගුණාංග විවිධ ලෙස හොඳ සේම නරක අතටත් පරිවර්තනය වෙයි. ග්‍රහ චාරයෙන් පසුගිය නොවැ. 02 දින වෘශ්චික රාශිගත වූ සෙනසුරු නිසා එසේ විවිධ ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල ඔබ වෙත ගෙනදෙනු ලබන්නේ උත්පත්තියෙන් වෘශ්චික ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ ඔහු පිහිටා සිටි ආකාරයට අනුවය.

එසේම සඳු ග්‍රහයාගේ පිහිටීමද විශේෂයෙන්ම බැලිය යුත්තකි. වෘශ්චික ලග්න හිමි ඔබේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 12-01-02-06 යන ස්‌ථානයක පිහිටා ඇත්නම් මෙම ඉදිරි කාලය තුළ ඔබට බොහෝ අසුබතා ඇතිකරයි. විශේෂයෙන් ඔබේ සිතුම් පැතුම් ඉටුකර ගැනීමට බාධක - අපහසුතා කරදර වැඩිවීම සේම නින්දා - අපහාස - ගෙදර දොර අය සමඟ අසමඟිකම් - විවිධ චෝදනා - වැරදි වැටහීම් ඇතිවී ඒ හරහා බොහෝ දුක්‌ පීඩා විඳින්නට සිදුවීම් ඇතිකරයි. උපතින් රවි කුජ දෙදෙනාද අසුබ අන්දමින් පිහිටා සිටියේ නම් රැකී රක්‍ෂා කටයුතු කෙරෙහිද අසුබතා මතු කරයි.

කේතු - කුජ - රාහු ආදී ග්‍රහයෙකුගෙන් සඳු හෝ ශනි උත්පත්ති කේන්ද්‍රයේ පීඩා වී ඇත්නම් අනතුරු ඇතිකරන තත්ත්වයක්‌ද පවතී. එසේ වීමට ශනි - සඳු - කේතු - කුජ - රාහු යන එකී ග්‍රහයෙකුගේ මහ දශාවක්‌ හෝ අතුරු දශාවක්‌ හෝ ගතවේ නම්, එකී පීඩාව පැවතුන ආකාරයට හෝ 2017 අතර කාලය තුළ ග්‍රහ චාරයෙන් එම පීඩාවම යළි පිහිටා තිබුනොත් නිශ්චිතවම අනතුරු ඇතිකරන පිහිටීමක්‌ වෙයි.

එනිසා 2017 දක්‌වා වෘශ්චික ලග්න හිමියන්ට උපතින් සඳු - 12-01-02-06 යන ස්‌ථානයක සිටියේනම් මෙම කාලය ඉතාම අසුබදායකය. කරන කියන කටයුතු කඩාකප්පල් වීම, මානසික පීඩන වැඩිවීම වැනි තත්ත්වයන් වඩාත් වර්ධනය වෙයි. ඒ සඳහා මසකට වරක්‌ නිවැරදි ලෙස බෝධි පූජා පැවැත්වීම දින 03 ක්‌වත් සෑම මසකම කිරීම, පවෙන් වැළකී සිටීම, දහම් කටයුතුවල නියෑළීම වැනි දේවල්වල නියෑළීමෙන් යහපත් ඵල නෙළාගත හැකිය.

එසේ සඳු සිටීමෙන් එම වෘශ්චික ලග්න හිමියන්ගේ පෙර පුණ්‍ය බලය හීන වීම සෙනසුරුගෙන් සිදුවන නිසා මේ භවය තුළ මෙම කාලයෙහි හැකි ලෙස ධර්මානුකූලව පිං දහම් කළ යුතුය. වයස්‌ගත අයට දන් දීම ආදී ක්‍රියාවන්හි නිරතවීම සිදුවිය යුතුය. 2012 සැප්. 04 දින වෘශ්චික ලග්නයේ 12 වැන්නට සෙනසුරු පැමිණි අතර සඳු 12-01 වැනි ස්‌ථානයක හෝ 05 වැන්නේ සිටියා නම් බොහෝ කරදර පසුගිය කාලයේ යෙදී තිබුණා විය යුතුයි. තරුණ අයට පෙම් සබඳතා තුළ පවා අවුල් වියවුල් ඇති වී වෙන්වෙන තැනට කරුණු යෙදේ. විවාහ ජීවිතවලට පවා බාධක පැනනගී. රවි ග්‍රහයා 02-06-09 යන ස්‌ථානයක සිටියේ නම් රැකිරක්‍ෂාවලට පවා බොහෝ කරදර මතුකර තිබිය යුතුය.

සඳු වෘශ්චිකයේ සිටියේ නම් දැන් 2017 දක්‌වා ඉතාම තදබල අපල කාලයකි. බොහෝ අසුබතා වර්ධනය වන අතර රවි 03-07-10 යන තැනක සිටින්නේ නම් රැකීරක්‍ෂාවලට පවා දැඩි කරදර බාධක ඇතිකරයි. ඒ නිසා සෙත් ශාන්ති කරගත යුතුමය. ධර්මානුකූල විය යුතුමය.

උපතින් සෙනසුරු මකර - කුම්භ යන රාශියක සිටි චන්ද්‍රයාද 04-05-06-09 යන ස්‌ථානයක සිටි වෘෂ්චික ලග්න හිමියන්ට තදබල අපල ඇති නොකරයි. එහෙත් තම සිතුම් පැතුම් ඉටුකර ගැනීමට තරමක්‌ අමාරුකම් - අවහිර බාධක වැඩි වුවද ඒවා දරාගෙන ඉදිරියට යමින් බලාපොරොත්තු නොවූ පරිදි සුබ ඵලද ලැබිය හැක. ඒ අයට මෙතෙක්‌ නොපෙනී තිබුනාවූ හෝ අත්හැර දමා තිබුනාවූ හෝ යම්යම් දේවල් යළි ඉස්‌මතු කොට විශිෂ්ට ප්‍රතිඵලද අත්කර දෙනු ඇත.

විශේෂයෙන් තරුණ තරුණියන්ට වෘෂ්චිකය තම ලග්නය වූයේ නම් 2017 දක්‌වා කාලය තුළ ආදර සම්බන්ධතා ගොඩ නැගීම අසුබවේ. ඒවා සපල නොවීම හෝ සපල වුවත් විවාහ දිවිය තුළ අසාරත්වය මතුකළ හැකිය. එනිසා ඔබ වෘෂ්චික නම් මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට ඉතා වැදගත් වේ.

ජ්‍යෝතිෂවේදී
අගලවත්තේ බී. හේරත්

0 comments:

Proudly Powered by Blogger.