Sunday, December 21, 2014

අකුරු කියවන්නට යන ඔබටයි මේ

by Api Nodanna Live  |  in Life at  3:05 AM

ළමයින්ට අකුරු කියවීම සම්බන්ධයෙන් අපේ ජනතාව තුළ ඇත්තේ දැඩි උනන්දුවකි. අකුරු කියවීමට සකසා ගන්නා නැකතට වඩා අකුරු කියවීමට පුද්ගලයකු සෙවීම පිණිස ඔවුන් නොගන්නා උත්සාහයක්‌ නැත.

"අපේ ළමයට අකුරු කියෙව්වේ අහවලානෙ...."

මේ ආදී වශයෙන් උදම් ඇනීමට හුරු පුරුදුව සිටින අපේ මව්පියෝ සිය දරුවාට අකු=රු කියවීමට මහා ප්‍රාඥයෝ සොයති.

අතීතයේදී අකුරු ශාස්‌ත්‍රය දන්නා පිරිස්‌ ගම්බදව සිටියේ ඉතා අතලොස්‌සකි. මේ නිසා ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ටත්, ඉස්‌කෝලේ ලොකු මහත්තයාටත් වෙද මහත්තයාටත් නිතර නිතර ළමයින්ට අකුරු කියවීමට සිදුවුණි. ඒ එදාය. නමුත් කාලය දැන් වෙනස්‌ව තිබේ. සාක්‍ෂර ඥාණය ඇත්තවුන්ගෙන් දැන් ඉතා පිටිසර ගම්මාන පවා පිරී ගොසිනි.

අතීතයේදී ගම්වල සිටි ප්‍රභූවරු කිසිවිටෙකත් අනුන් නැසේවා යි· ප්‍රාර්ථනා නොකළ පිරිසකි. කරුණාව, මෛත්‍රිය පෙරදැරි කරගෙන ජීවත් වූ එතුමෝ අනුන්ගේ දියුණුවට කිසි විටෙකත් ඊර්ෂ්‍යා නොකළහ. ඔවුහු අනුන්ගේ දරුවන්ට අකුරු කියවන ලද්දේ තමන්ගේ දරුවන් මෙන් ඉතාම කරුණාවෙනි. දයාවෙනි.

එහෙත් වර්තමාන ලෝකය හා සමාජ ක්‍රමය මුළුමනින්ම කණපිට හැරී තිබේ. තරගකාරි ලොවක ජීවත්වන මිනිසුන් කෙසේ හෝ උත්සාහ දරන්නේ තමන්ගේ එකා ගොඩ දැමීමටය. හරියට විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ එක ලකුණක්‌ ද ඉතා වැදගත් බැවින් සෑම අයෙකුම උත්සහ දරන්නේ තමන්ගේ එකා ඉස්‌සරහට යෑවීමටය.

මෙවැනි පරිසරයක්‌ මත තම දරුවාට අකුරු කියවීම සඳහා වෙනත් ප්‍රාඥයකු වර්තමාන සමාජයේදී සොයායැම කිසිදු ආශිර්වාදයක්‌ නොමැති ක්‍රියාවක්‌ බව පෙනෙන්නට තිබේ. කොතරම් අඥාන දෙමවුපියන් වුවත් තම දරුවාට ආදරේය. තම දරුවා තරම් වටිනා වස්‌තුවක්‌ ඔවුන්ට නොමැත. මේ නිසා එම දෙමවුපියන්ගේ ආශිර්වාදය තරම් ආශිර්වාදයක්‌ ලොවේ නැති තරම් ය. මේ නිසා තමන්ගේ දරුවන්ට අකුරු කියවීමට දෙමවුපියන් තරම් වටිනා කෙනෙක්‌ නොමැති බව ඉතාම පැහැදිලිය. මේ නිසා තමන්ගේ දරුවන්ට අකුරු කියවිය යුත්තේ මහා ප්‍රාඥයන් නොව ඉතා හොඳ නිර්මල ආශිර්වාදයක්‌ ඇති දෙමවුපියන්ම ය.

දෙමවුපියන් විසින් අකුරු කියවන විට ළමයා ඉතා හොඳින් අකුරු කියයි. ඊට හේතුව ළමයාට දෙමව්පියන් සමීපතම පුද්ගලයන් වන නිසා ය. පිටස්‌තර පුද්ගලයන් ඉදිරියේදී ළමයා ඇතැම් විට සබකෝලයට, කුලෑටි ගතියකට ලක්‌ වීම නිසා අකුරු කිමට මැලි විය හැකිය.

මගේ පියා මට අකුරු කියවීමට තෝරාගෙන තිබුණේ ගමේ ඉස්‌කෝලේ ලොකු මහත්මයා වූ විමලසිරි මහතාය. එතුමා නැකතට අනුව මට 'අ' යන්න පෙන්වා කීමට විධාන කළත් මුරණ්‌ඩු මම එදා 'අ' යන්න කීවේ නෑ. මගේ පියාට තරහක්‌ වේදනාවක්‌ දැනුන ද ඒ කිසිවක්‌ නොකියා මාව කරේ තබාගෙන පයින් නිවසට පැමිණෙමින් සිටියේය.

"අර මහත්තය මට අ යන්න කියන්න කිව්වා. ඉතිං මම ඒක දන්නවනේ" යනුවෙන් මම නැකතට අකුරු කියවා ඇත්තේ පියාගේ කරේ සිටය. මේ කතාව ඇසූ විමලසිරි මුල් ගුරුතුමා පියාට කියා තිබුණේ "මිනිහා කොහෙදි හරි කමක්‌ නෑ අ යන්න කිව්වනෙ යනුවෙනි.

එදා සිටි විමලසිරි මහතා වැනි හිත හොඳ අවංක මනා ලෙස ආශිර්වාද කරන මිනිසුන් සොයා ගැනීම අසීරු නිසා තමන්ගේ දරුවන්ට අකුරු කීම දෙමවුපියන් විසින්ම කිරීම වඩා යෝග්‍ය බව මගේ මතයයි.

ඔබ ඔබේ දරුවාට අකුරු කියවන්නේ නම් ජ්‍යෝතිෂය මතයට හා නීතියට අනුව හොඳම වයස අවුරුදු 3, 5, 7 යන වයසයි. වර්තමාන අධ්‍යාපන රටා ක්‍රමය අනුව වයස අවුරුදු 5 දී හා 7 දී අකුරු කියවීමෙන් පලක්‌ නොමැති නිසා මේ සඳහා සුදුසුම වයස වන්නේ අවුරුදු 3 ය.

බොහෝ දෙනෙකු කියා සිටින්නේ තම දරුවන් අකුරු කීමට පෙර අක්‌කාගෙන් හෝ අයියාගෙන් අසාගෙන මේ වන විට බොහෝ අකුරු කියවන බවය. නමුත් නැකතකට සුදුසු පරිසරයක්‌ මත හිඳ අකුරු කියවීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්‌ බව මතක තබා ගන්න.

අකුරු කියවීම සඳහා නැකතක්‌ පිළියෙළ කර ගැනීමේදී සරස්‌වතී යෝගයෙන් අකුරු කියවීමට දිනයක්‌ යොදා ගත හැකි වන්නේ නම් ඉතා අගනේය. බුධ ග්‍රහයා, උච්ච වීමත්, හත නැකත යෙදීමත් යන කාරණා දෙක මත සරස්‌වතී යෝගය යෙදුණත් නිතර නිතර එම යෝගය නොමැති නිසා ළමයාට අකුරු කියවීම ප්‍රමාද කළ යුතු නොවේ.

හත, සිත, සා, පුෂ, පුනාවස, මුවසිරස, සුවන, අස්‌විද යන නැකැත් ද, අකුරු කියවීම සඳහා සුදුසු නැකත් ය. උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙණ, රේවතී යන නැකැත් මධ්‍යම ඵල ගෙන දෙන නැකත් ය. එහෙයින් ඉහත කී සුබ නැකතක්‌ තෝරාගෙන අකුරු කියවීමට වග බලා ගන්න.

මේෂ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු හා මීන යන රාශි අවස්‌ථා යොදාගෙන අකුරු කියවීම කළ යුතු අතර, එය පුර පක්‍ෂයේ 2, 3, 5, 10, 11. හා 13 යන තිථිවලදී සිදු කරන්නේ නම් වඩාත් යහපත් ය.

කෙසේ වෙතත් දරුවාට අකුරු කියවන දිනයේදී අනිවාර්යෙන් ම සරස්‌වතී පූජාවක්‌ තැබීමට අමතක නොකරන්න. තල, උක්‌ හකුරු, වී, පොරි, මීපැණි, අඹ ඇතුළු පලතුරු හතක්‌, උඳු මිශ්‍ර කැවිලි සමඟ කැවිලි හතක්‌ හබල පෙති, සුදුමල්, නෙළුම් මල්, සඳුන්, කපුරු, පිනිදිය, පැන්, පඬුරු, බුලත් පූජාවට තබා ගිතෙල් පහනක්‌ දල්වා අකු=රු කියවීම කළ යුතුය. ශ්‍රී සරස්‌වතී දේවියගේ රූපයක්‌ ඉදිරියේ මෙම පූජාව තබන අතරතුර ගණ දෙවි රූපයක්‌ ඒ අසලින් තැබීමට ද අමතක නොකරන්න.

මේ වතාවත් අතරතුර ඔබ සාම්ප්‍රදායිකව පුරුදු පුහුණු වී සිටින ළමයා කැමැති දේ අකුරු කියවන ළමයා අසල තැබුවාට ද වරදක්‌ නොමැත. නමුත් ළමයා අකුරු කියවීමෙන් පසුව අතට ගන්නා දේ අනුව ඔහුගේ අනාගතය ගැන තීරණ ගැනීමට උනන්දු නොවන්න. අකුරු කියවු පසුව ළමයා පොතක්‌ අතට ගත්තේ නම් ඔහු බුද්ධිමතෙකු වන බවටත්, සෙල්ලම් බඩුවක්‌ අතට ගත් විට කෙළිලොල් කෙනෙකු වන බවට ද නගන පූර්ව නිගමන සියයට සියයක්‌ ම නිවැරැදි නොවේ

ජ්‍යෝතිෂවේදී
දිනසේන රතුගමගේ

0 comments:

Proudly Powered by Blogger.