Sunday, December 21, 2014

ජනවාරි අටවැනිදා කුමක්‌ සිදුවේද?

by Api Nodanna Live  |  in News at  3:05 AM



සියලු දෙනාගේම අවධානය 2015 ජනවාරි 8 දා දිනය වෙත යොමු වී ඇත. පුවත්පත් පමණක්‌ නොවේ, රූපවාහිනී නාලිකා සියල්ලේ ද ප්‍රවෘත්තිවලින් වැඩි ප්‍රමාණයකින් ජනතාවගේ අවධානය යොමු කරවන්නේ මෙම දිනය කෙරෙහි ය. ඒ මෙදිනට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ජය කාටද යන්න පිළිබඳව ය.

මැතිවරණ අනාවැකි පුරාණය බොහෝ ඈත අතීතය දක්‌වා විහිදේ. එසේ වැරදියට හා පක්‍ෂපාතීව අනාවැකි කීවෝ ද උන්හිටිතැන් පවා අහිමි කර ගත් අවස්‌ථා තිබේ. වරෙක රූපවාහිනී නාලිකාවක්‌ මගින් කියන ලද අනාවැකි වැරදී ගිය විටෙක මම ඒ පිළිබඳව එම සාකච්ඡාවට සහභාගි වූ දෛවඥ මහතෙකුගෙන් විමසුවෙමි. "අපි මොනවා කරන්නද ඉස්‌සරහ පැත්තේ අහවල් අහවල් ඇමැතිවරු බලාගෙන හිටියනේ. ඒ ගොල්ලන්ගේ කීමට තමයි කළේ" යනුවෙන් එතුමාට එසේ කරන්නට සිදු වුණේ එකල පැවැති රජයේ මාධ්‍යයන් නියෝජනය කළ බැවිනි.

මැතිවරණ අනාවැකියක්‌ හෝ රට රාජ්‍ය පිළිබඳ අනාවැකි කීම ලෙහෙසි කටයුත්තක්‌ නොවේ. ලෝකායතන ජ්‍යෝතිෂය හා තත්කාල ශාස්‌ත්‍රය පිළිබඳ දැනුම ඊට මහත් උපකාරී වෙයි. ජ්‍යෝතිෂය පිළිබඳව නිවැරැදි ගුරු මුෂ්ටි හැදැරූ හා අත්දැකීම් සහිත ශාස්‌ත්‍රඥයකුට එවැනි අනාවැකි පළ කරන්නට හැකි වෙයි. එහෙත් හේ තම දැනුම මත පිහිටා අනාවැකි කියනවා මිස ප්‍රශස්‌ති ගායනා කරන්නකු විය යුතු නොවේ. පක්‍ෂපාතීත්වය ඇතිව කියන අනාවැකි හෝ පලාපල ජ්‍යෝතිෂය නොවේ. 'ඡන්ද' යනු සතර අගතියෙන් එකකි. එනම් පක්‍ෂපාතීත්වයයි.

ජ්‍යෝතිෂය ලෙස මොන මොනවා හරි වචන ටිකක්‌ කියා තමන් කැමැති අපේක්‍ෂකයා දිනන බව කියන ජ්‍යෝතිෂවේදීන්ට බහුලව ප්‍රචාරය ලැබෙන විට නිහඬවීම යුතුකමක්‌ නොවන බැවින් මෙම ලිපියෙන් උදාවන ජනවාරි 8 දා කුමක්‌ සිදුවේදැයි සාකච්ඡා කිරීම මැනවැයි සිතමු. ඒ පක්‍ෂපාතීව හෝ විරුද්ධව නොව ජ්‍යෝතිෂ්ශාස්‌ත්‍රය අනුවය.

ස්‌වාධීනව අනාවැකි පළ කරන 'දිවයින' 'නැකත' මගින් මීට පෙර ද එවැනි අනාවැකි අපි පවසා ඇත්තෙමු. 2012 දී සිදුවෙනවා යෑයි සමස්‌ත ලෝකවාසීන්ම බියට පත් කළ ලෝක විනාශය හුදු මිථ්‍යාවක්‌ බව අප 'නැකත' මගින් ප්‍රකාශ කළේ වසර 2010 දී ය. ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස්‌වීම, මැලේසියා ගුවන් යානා අනතුර, ඉන්දියාවේ විපක්‍ෂය බලය ලබන බව ආදී කරුණු ද කල් ඇතිව ප්‍රකාශ කළෙමු. අරාබි රටවල්වල මුස්‌ලිම් නායකත්වයට පහර වදින බව ද කීවෙමු. අප පමණක්‌ නොවේ, වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වන බව වසර 2004 මාර්තු 31 වැනිදා සුමනදාස අබේගුණවර්ධන මහතා පුවත්පතකට ලියන ලද ලිපියක්‌ දැනුදු මා අත තිබේ. ජ්‍යෝතිර් විද්‍යානුකූලව අනාවැකි පැවසිය හැකි දක්‍ෂ ජ්‍යෝතිර්වේදීන් අප අතර දුලබ නැත.

එහෙත් සමහර අනාවැකි පවසන ආකාරය අසන විට ඇතිවන්නේ විමතියකි. අතිගරු ජනාධිපතිතුමාගේ කේන්ද්‍රය පමණක්‌ අතැතිව ඔවුන් එහි ග්‍රහ බලය ගැන බොහෝ දේ කියවයි. අවසානයේ එතුමා ජය ගන්නා බව ද කියයි.

තරගකරුවන් කිහිපදෙනකු සිටින තරගයක එකම තරගකරුවෙකුගේ විස්‌තර පමණක්‌ දැන ගෙන ඔහුම දිනන බව කීම විහිළුවක්‌ නොවේද? නැතහොත් එය දිනන අශ්වයාට ඔට්‌ටු ඇල්ලීම වැනි ම වූ සූදුවකි.

ජනාධිපතිතුමාගේ රාජ යෝගය තිබෙන බව සත්‍යයකි. එහෙත් මැතිවරණ ජය ලබන්නේ එතුමාම බව කීමට එයම ප්‍රමාණවත් වන්නේ කෙසේද? රට රාජ්‍යයන් පිළිබඳව කියෑවෙන ජ්‍යෝතිෂයේ ගැඹුරුම අංශය ගැන මෙහිදී සලකා බැලීම වටී. නාරද සංහිතාව, ලෝකායක ජෝතිර් විද්‍යාව, ශ්‍රී තත්කාල නිමිත්ත, නවීකරණය යන ග්‍රන්ථ මේ පිළිබඳ වටිනා අදහස්‌ පෙන්වයි. මේ අනුව සංවත්සර කේන්ද්‍රයක හෝ තත්කාල කේන්ද්‍රයක හෝ රටට අයත් කේන්ද්‍රයේ ග්‍රහ බල හා භාව බල විස්‌තර කරන්නේ මෙසේය.

කේන්ද්‍රයේ දහවැන්නෙන් රජය ගැනද. සතරවැන්නෙන් රජයට විරුද්ධ පක්‍ෂය ගැනද, තුන්වැන්නෙන් රජයට විරුද්ධ වෙනත් පක්‍ෂ ගැන ද, නමවැන්නෙන් විරුද්ධ පක්‍ෂයට විරුද්ධ වෙනත් පක්‍ෂ ගැනද, එකොළොස්‌වැන්නෙන් පාර්ලිමේන්තුව ගැන ද, අටවැන්නෙන් මාරක බාධක ගැනද, හත්වැන්නෙන් විදේශ සබඳතා ගැන ද කියනු ලැබේ.

ලෝකායත කේන්ද්‍රයේ රවිගෙන් රජු හෙවත් රාජ්‍ය නායකයා (3) නැතහොත් ජනාධිපතිවරයාගේ තත්ත්වය ද හතරවැන්නාධිපතිගෙන් විරුද්ධව සටනට එන නායකයා ගැන ද සඳුගෙන් ඡන්දදායකයා ගැන ද දැන ගත යුතු වේ.

දහය සහ රවි බලවත් නම් රජය හෝ රජු දිනනවා ඇත. හතර හා එම අධිපති බලවත් නම් විරුද්ධවාදියා දිනනු ඇත. දුර්වල නම් පරාජය වනු ඇත. මේ තත්කාල කේන්ද්‍රයේ තත්ත්වය අනුව විමසා බලා ජය පරාජය තීරණය කරන ආකාරයයි. පැරැණි පොත්වලින්

පැරැණි නිර්දේශ නවීකරණය කරන ලදුව ශ්‍රී තත්කාල නිමිත්ත නවීකරණ ග්‍රන්ථයේ මේ කරුණු සවිස්‌තරව දක්‌වා තිබේ.

මෙහිදී රාජ්‍ය නායකයාගේ හෝ විරුද්ධ පක්‍ෂවල නායකයන්ගේ නිවැරැදි කේන්ද්‍ර සටහන් වුවමනා නොකරයි. නමුත් ලග්නය දැන ගැනීම ප්‍රයෝජනවත් වේ. මෙම සිද්ධාන්ත අතීත මැතිවරණ ප්‍රතිඵලවලින් ම සනාථ වනවා ඇත.

1977 ජුලි මස 21 දින පවත්වන ලද මහා මැතිවරණ දිනයේ උදා වූයේ කටක ලග්නයයි. මෙහි විරුද්ධ පක්‍ෂය වන හතර අධිපති සිකුරු ලාභස්‌ථානයට ගොස්‌ ස්‌වක්‌ෂේත්‍ර බලය ලබයි. රජය නියෝජනය කළ 10 අධිපති හා රවි දුර්වල විය. එක්‌සත් ජාතික පක්‍ෂය ජය ගත් අතර. රජය පරාජයට පත් විය. රජයට විරුද්ධ වෙනත් පක්‍ෂ නියෝජනය කළ 3 වැන්නේ බලවත් රාහු නිසා ද්‍රවිඩ පක්‍ෂවල බලය ද වර්ධනය විය. එදින අගමැති සිරිමාවෝ මැතිනියගේ කේන්ද්‍රයට වඩා ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ කේන්ද්‍රයේ ග්‍රහ බලය ද වැඩි වී තිබිණි.

1988 දෙසැම්බර් 19 දින පවත්වන ලද ජනාධිපතිවරණ දිනයේ උදා වූයේ ධනු ලග්නයයි. මෙහිදී එවිට ආර්. ප්‍රේමදාස මහතා සමඟ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය අපේක්‍ෂකයෝ වූහ. මෙම කේන්ද්‍රයේ ද රජය නියෝජනය කරන 10 වැන්න අධිපති හා රවි ලග්නයේ බලවත්ව උදාවිය. විරුද්ධ පක්‍ෂයට හිමි ගුරු සතුරු ස්‌ථානයට ගොස්‌ සිටියේය. ඉහත දක්‌වන ලද සිද්ධාන්ත පරිදිම ප්‍රේමදාස මැතිතුමා ජය ලැබීය.

1994 මාර්තු මස 24 දින පවත්වන ලද මහා මැතිවරණය ද මෙම සිද්ධාන්ත සත්‍ය බව පෙන්වයි. එදින උදා වූයේ ගුරු හිමි මීන ලග්නයයි. 10 අධිපති අටවන මාරක ස්‌ථානට ගියේය. විරුද්ධ පක්‍ෂයට අධිපති බුධ 12 බලවත් විය. මේ අනුව එම මැතිවරණයේදී පොදුජන එක්‌සත් පෙරමුණ බලය ලැබීය.

1994 නොවැම්බර් මස 9 වැනි දින ද ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරණය පවත්වන ලදී. චJද්‍රිකා මැතිනිය ඉදිරිපත් වූ මෙම මැතිවරණ දිනයේ තුලා ලග්නය උදාවිය. 10 අධිපති සඳු දිග් බලය ලබා 4 වැන්නේ බලවත් විය. ජනාධිපතිවරණයෙන් ජය ලැබුවේ චJද්‍රිකා මැතිනියයි.

තවදුරටත් උදාහරණ දැක්‌වීම අවශ්‍ය නොවේ. උදාවන තත්ත්වය ගැන දැන ගැනීම සඳහා 2015 ජනවාරි මස 8 වැනිදා උදාවන තත්කාල ලග්නය හා ග්‍රහචාරය දෙස බලමු.

මෙදින උදා වන්නේ ගුරු හිමි ධනු ලග්නයයි. ලග්නාධිපති ගුරු සිව්වැන්නාධිපති ද වෙයි. ඒ විරුද්ධ පක්‍ෂය නියෝජනය කරමින් අටවන මාරක ස්‌ථානයේ තැන්පත් වී ඇත. අටවැන්නේ වුවද ගුරු ග්‍රහයා උච්චව සිටියේ නම් තරමක වත් ශුභඵල උදා කරයි. නමුත් මේ දිනය වන විට ගුරු වක්‍රව සිටින නිසා දෙන්නේ නීච බලයයි. මේ අතර ජනාධිපතිතුමා නියෝජනය කරන රවි ලග්නයේ බලවත්ව සිටී. රජය නියෝජනය කරන දහවැන්නාධිපති බුධ ද ධනස්‌ථානයේය.

ජනවාරි 8 දින වන විට ලංකාව හිමි කුම්භ ලග්නයේ තත්ත්වය ද විමසා බලමු. එහි ලග්නාධිපති 10 වැන්නේ ද 10 අධිපති ලග්නයේ ද පරිවර්තන යෝගයන් උදාකරන අතර රාජ්‍ය බලය දුර්වල නොවන බව පෙන්වයි. එහෙත් හතරවැන්නාධිපති හෙවත් විරුද්ධ පක්‍ෂයට අධිපති සිකුරු ව්‍යාධි පාඩු දෝෂ පෙන්වන දොළොස්‌වැන්නට ගොස්‌ දුර්වල වී තිබේ. ජනාධිපතිතුමා නියෝජනය කරන රවි ලාභස්‌ථානයේ බලවත්ව සිටී.

තවදුරටත් ජනාධිපතිතුමාගේ ජන්ම පත්‍රය ද සැලකිල්ලට ගත හැකි වේ. 1945 නොවැම්බර් 17 දින කන්‍යා ලග්නයෙන් උපන් බව සඳහන් වන එතුමාගේ ලග්න ඒරාෂ්ඨක අපල කාලය නිම වී තිබේ. ඒ අතර ගුරු උච්චව 11 වැන්නේ ද ලග්නපති හා 9 අධිපති ත්‍රිකෝණගතව ද සිටී.

මේ අනුව ජනවාරි 8 හිරු උදාවත් සමඟ උදාවන ග්‍රහචාරය ද ලංකාව හිමි කුම්භ ලග්නයේ කේන්ද්‍රය ද ජනාධිපතිතුමාගේ කේන්ද්‍රයේ ගෝචර ග්‍රහචාරය ද පෙන්වන්නේ එතුමා තවදුරටත් ජනාධිපති බවම නොවේද? ඉහත සඳහන් කළේ ජ්‍යෝතිෂ් ශාස්‌ත්‍රයට අනුකූල ග්‍රහබල පිළිබඳ විමසුමකි. අපක්‍ෂපාතී විවරණයකි. මෙම කේන්ද්‍රවලින් තවත් බොහෝ දේ කිව හැකි නමුත් මෙම ලිපිය මෙතනින් නිමා කරමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ග්‍රහ බලය තවදුරටත් ශක්‌තිමත් ය.
කෑගල්ලේ - සුනිල් කුමාර ගම්ලත්

0 comments:

Proudly Powered by Blogger.