Sunday, December 21, 2014

උදාවන වර්ෂය තුළ ආණ්‌ඩු පෙරළියක්‌ !

by Api Nodanna Live  |  in News at  3:00 AM

ලෝකායතන සහ තත්කාල
ජ්‍යෝතිර් විද්‍යාවට අනුව අනාවැකියක්‌

ලංකා ආණ්‌ඩුව විසින් ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර තිබෙන මොහොතක එළඹෙන වර්ෂයේ දේශපාලන පසුබිම් පිළිබඳ ජ්‍යෝතිර් විද්‍යානුකූලව මෙම ලිපිය සකස්‌ කිරීමට අදහස්‌ කෙරුවෙමි. මේ ලිපිය ඔබ අතට පත්කරනුයේ මා කළ ගවේෂණය කොතරම් දුරට සත්‍යවේද යන්න විනිශ්චය පාඨක ඔබට භාර කරමිනි. ලෝකායතන ජ්‍යෝතිෂයත් තත්කාල ජ්‍යෝතිෂයත් ගුරුකොට ගනිමින් මේ ලිපිය සම්පාදනය කරනුයේ ස්‌වාධීන ගවේෂණයක්‌ වශයෙන් මිස කිසියම් දේශපාලන න්‍යායක පිහිටා නොවන බව පළමුව සඳහන් කරමි. එසේ හෙයින් මේ ලිපිය කිසිදු දේශපාලන පක්‍ෂයක ඉදිරි ගමනට වාසියක්‌ හෝ අවාසියක්‌ නොවේවායි පතමින් ඉදිරි ජනාධිපතිවරණයේ ජ්‍යෝතිර් විද්‍යානුකූල පසුබිම විමසා බලමු.

2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ දින දෝෂය

2014-11-20 වැනි දින ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය විශේෂයෙන් සලකා බැලිය යුතුවේ. මෙදින සිත නැකත සහ සා නැකත උදා වී පවතී. එසේම දහතුන් වැනි තිථියත් හමස්‌මර යෝගයත් මෙදින උදා වේ. දිනය බ්‍රහස්‌පතින්දාවක්‌ වුවද බලයේ සිටින ආණ්‌ඩුවට මෙදින සුබදායක නොවේ. රටේ දේශපාලන ඉතිහාසය පිරික්‌සා බැලීමේදී එවකට බලයේ සිටි පාලකයන් පරාජයට පත්වීම සඳහා මෙම තිථියත් හමස්‌මර යෝගයත් බලපා ඇති බව පෙනේ. එම නිසා මෙම තත්ත්වය දැනට පවතින ආණ්‌ඩුවට අසුබ ලෙස බලපායි. මෙවැනි තත්ත්වයක්‌ 1988 ඔක්‌තොම්බර් මස 21 වැනි දිනද ඇති වූ බව සිහිගන්වමි.

2015 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේ දින දෝෂය

2014-12-08 වැනි දින ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීම සිදුවේ. මෙදින අද නැකත පවතින අතර මකර ලග්නයත්, කුම්භ ලග්නයත් උදා වේ. මෙහි ලග්නාධිපතියා වන්නේ සෙනසුරුය. සෙනසුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසීම පෙරළිකාර දේශපාලන පසුබිමක්‌ නිර්මාණය කරයි. එය ආණ්‌ඩුවටත් එහි නිලතල දරන අයටත් බලපෑම් ඇතිකරන තත්ත්වයක්‌ ලෙස පෙන්වා දිය හැකිය. එසේම ඉහත දින සිට විවිධ පිළිගැනීම් හා අත්තනෝමතික ක්‍රියා නිසා මහජනතාවගේ ජීවිත වලට හානි හා පීඩා සිදුවිය හැකිය.

මේ කාරණය අපි විශේෂයෙන් සලකා බැලිය යුතු වන්නෙමු. එයට හේතුව මේ කාල පරාසය තුළ ග්‍රහ මණ්‌ඩලයේ හැසිරීම පවතින ආණ්‌ඩුවට එතරම් සුබදායක නොවීමයි. කුජ ග්‍රහයා කුම්භ රාශි ගතවීම මහජනයා අතර පෙරළිකාර අදහස්‌ ඇතිවීමට බලපා ඇත. එමෙන්ම කුජ ග්‍රහයා නැප්චූන් ග්‍රහයා සමඟ යෝගව සිටීම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට හේතුවකි. විශේෂයෙන්ම පවතින දේශපාලන අස්‌ථාවරත්වයන් නිසා මහජනයා කැළඹීමට පත්වේ. එමෙන්ම පීඩිත පංතියේ ප්‍රබල නැගීසිටීමක්‌ද පෙන්නුම් කරයි. මෙයට අමතරව දූෂිත ක්‍රියා නිරන්තරයෙන් සිදුවන අතර ආණ්‌ඩු පක්‍ෂයත්, විපක්‍ෂයත් අතර ගැටුම් නිර්මාණය වේ. මැරවරකම් හා අශිලාචාර ක්‍රියා ද ඇතිවේ.

ධනු රාශියට ප්ලූටෝ ග්‍රහයාගේ පැමිණීම ලෝකායතන ජ්‍යෝතිෂයට අනුව පවතින ආණ්‌ඩුවට බලපෑම් ඇති කිරීමට සමත් වේ. එසේම යුරේනස්‌ ග්‍රහයා මීන රාශියේ ගමන් කිරීම රහසිගත දේශපාලන ක්‍රියා කලාපයන් පෙන්නුම් කරන්නකි. මේ තත්ත්වයන් සලකා බලන කළ ඉදිරි වර්ෂය රටේ සාමකාමී බව බිඳ වැටෙන වකවානුවකි. වර්ෂය පුරාම දේශපාලන පිල් මාරුවීම් ඇතිවේ. මහජනතාව මෙයින් වඩාත් පීඩාවට පත්වන අතර තම කැමැත්ත අස්‌ථාවරව වරින්වර දෝලනය වේ.

ඉහත කේන්ද්‍ර දෙක මඳක්‌ විමසා බලමු. ග්‍රහ සංයෝග සහ ඒවායේ දෘෂ්ටීන් පිළිබඳව විග්‍රහකරන්නට යැම ලිපිය දීර්ඝ වීමක්‌ නිසා ලග්න දෙක ගැන පමණක්‌ යමක්‌ පවසමි. මකර ලග්නයට සෙනසුරු අධිපතිවන අතර වෘෂභ ලග්නයට සෙනසුරු රාජයෝග කාරක ග්‍රහයා වෙයි. සෙනසුරු සෑම විටම පීඩිත පංතිය නියෝජනය කිරීමත් කටුක ජයග්‍රහණ කෙරෙහි බලපැවැත්වීමත් නිසා ආණ්‌ඩු පෙරළියක පැහැදිලි ලක්‍ෂණ පෙන්නුම් කරයි. මේ පෙරළියේ ජයග්‍රහණය සමස්‌ත ප්‍රතිඵල හා සලකා බලන කල ආසන්න අනුපාතයන් පෙන්නුම් කරයි. මෙදින අස්‌ලිස නැකත උදාවී පැවැතීමද මෙම තත්ත්වයට රුකුල් දෙයි. එසේම එදින උදැසන 7.00 ට මකර ලග්නයේ එකළොස්‌ වැන්නට සෙනසුරු පැමිණීම පීඩිත පංතියේ සහ වැඩකරන ජනතාවගේ බලය ඉස්‌මතු වීමට සෘජු ලෙසම බලපායි.

කුම්භ ලග්නය හිමි ලංකා ජනරජ කේන්ද්‍රය හා එහි දසාව

මෙයද සලකා බැලිය යුතු කරුණකි. 2014-01-29 වැනි දින සිට 2015-01-26 වැනි දින දක්‌වා කුජ මහ දසාවේ බුධ අතුරු දසාව ලංකාවට බලපානු ලබයි. එසේම 2015-01-26 වැනි දින සිට 2015-06-23 වැනි දින දක්‌වා කුජගේ කේතු අතුරු දසාවක්‌ ලංකාවට බලපානු ලබයි. මෙම තත්ත්වය වර්ෂයේ මැද භාගය වනතුරු රටට යහපත් නොවේ. නොයෙකුත් අවුල් වියවුල් හා දේශපාලන පෙරළි තුළින් රට ඉදිරියට ගමන්කරනු ඇත. ඇතැම් ගැටුම් හමුවේ හමුදාමය බලය තරකිරීමට පවා ආණ්‌ඩුවට සිදුවේ. මෙම තත්ත්වය යටතේ දේශපාලනයේ නියළෙන සියල්ලන්, මහජනතාව බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කිරීම මැනවි.

2014-12-05 සවස 6.23 පසළොස්‌වක පොහොය උදාවීම සහ 2014-12-28 දින සවස 12.57 ට අටවක පෝය ලැබීමේ දී උදාවන තත්කාල ලග්න විග්‍රහය

මෙම තත්කාල කේන්ද්‍ර සටහන් දෙකෙන්ද පෙන්නුම් කරන්නේ ආණ්‌ඩු පෙරළියක මූලික ලක්‍ෂණයි. එහි දී සඳු ලග්න ගතව තිබීම මහජන මතය වෙනස්‌වීම කෙරෙහි බලපාන්නකි. එසේම මෙම කාල සීමාවේදී මැතිවරණය කෙරෙහි මහජනතාවගේ දැඩි උනන්දුවක්‌ හා ක්‍රියාශීලි බවක්‌ පෙන්නුම් කරයි. එසේම හයවැනි භාවයට සෙනසුරු සහ රවි පැමිණීම වැඩකරන ජනතාවට සුබදායක තත්ත්වයක්‌ ඇති කරයි. මීන ලග්නයේ නම වැන්නට සෙනසුරු පැමිණීමද එකොළොස්‌ වැන්නට කුජ පැමිණීමද වැඩ කරන ජනතාවගේ සහ පීඩිත පංතියේ ඉස්‌මතු වීම පෙන්නුම් කරයි. එසේම පාර්ලිමේන්තුවේ බොහෝ කරදර හා කැළඹිලි ඇති වේ. මන්ත්‍රීවරුන් අතර රෝග හා මරණ සිදු විය හැකි කාලයකි. තවද වාද භේද ගැටුම් දේශපාලන පක්‍ෂ කඩා වැටීම් සිදු වේ. එසේ වුවත් රටේ ආරක්‍ෂාව සහ හමුදාවන් කෙරෙහි යහපත් තීරණ ගන්නා කාලයක්‌ බව පෙනේ.

ලෝකායතන ජ්‍යෝතිර්වේදී
උ. ස. පණ්‌ඩිතරත්න

0 comments:

Proudly Powered by Blogger.